මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ තම වහලුන් ඔහු සමග කටයුතු කරන ආකාරය ගැන පැමිණිළි කර සිටියේය. එහි දී සැබැවින්ම තොරතුරු දැනුම් දීමේදී ඔවුන් ඔහුට බොරු පවසන බවත්, පැවරුම්වල දී ඔහුට වංචා කරන බවත්, ගනුදෙනුවල දී ඔහුව රවටන බවත්, නියෝග වලදී ඔහුට පිටුපාන බවත් දන්වා තවදුරටත් ඔවුන්ට විනය කියාදෙනු පිණිස තමන් ඔවුනට බැණ වදින බවත් ඔවුනට පහර දෙන බවත් දන්වා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සමග තමන්ගේ තත්ත්වය කෙසේ වනු ඇත් දැයි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔබට ඔවුන් වංචා කළ දෑ, ඔබට පිටුපෑ දෑ, ඔබට බොරු කළ දෑ ගැන විනිශ්චය කරනු ලැබේ. එමෙන්ම ඔවුනට ඔබ කළ දඬුවම ගැන ද විනිශ්චය කරනු ලැබේ. ඔවුන්ගේ පාපකම් සමග ඔවුනට කළ දඬුවමේ ප්‍රමාණය සමාන වූ විටෙක, ඔබට කිසිවක් හිමි වන්නේ නැත. ඔබට එරෙහිව කිසිවක් පිහිටන්නේ ද නැත. ඔවුන්ගේ පාපයට වඩා ඔබේ දඬුවමේ ප්‍රමාණය අඩු වී නම්, එය කුසල් වල දී ඔබට අමතර ප්‍රතිලාභයක් වන්නේ ය. එමෙන්ම ඔවුන්ගේ පාපයන්ට වඩා ඔවුනට කළ දඬුවම වැඩි වී නම් ඔබ දඬුවමට ලක්වනු ඇත. ඔබගෙන් එම අධික ප්‍රමාණය ලබා ඔවුනට පිරිනමනු ඇත. පසුව එම මිනිසා පැත්තකට වී හඬා වැළපෙන්නට ගත්තේ ය. ඔහුගේ හඬ උස් විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ. ඔබ අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා නොතිබේ ද? "තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබනු ඇත. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුව ද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අපම ප්‍රමාණවත් ය." එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිවකුට කිසිවකින් අසාධාරණයක් වන්නේ නැත. ජනයා අතර තුලනය සාධාරණ ලෙස පවතී. එවිට එම මිනිසා මෙසේ පැවසීය. "අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ් මත දිවුරා පවසමි. ඔවුන්ගෙන් වෙන්වීම හා ඔවුන් අත්හැරීමට වඩා වැදගත් කරුණක් මා වෙනුවෙන් හා ඔවුන් වෙනුවෙන් මම නොදකිමි. ඔවුන් සියලු දෙනාම අල්ලාහ් වෙනුවෙන් නිදහස් පුද්ගලයින් බව මම ඔබව සාක්ෂි වශයෙන් තබා පවසමි. එය විනිශ්චය හා දඬවමට බියෙනි.