නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම මහප්පා වන අබූ තාලිබ් මරණයට පත්වෙමින් සිටිය දී ඔහු වෙත ප්‍රවේශ වී මෙසේ පැවසීය. අහෝ මාගේ මහප්පාණනි! "අල්ලාහ් අබියස ඔබ වෙනුවෙන් මා සාක්ෂි දැරිය හැකි ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යන ප්‍රකාශය පවසන්න". එවිට අබූ ජහල් සහ අබ්දුල්ලාහ් ඉබ්නු අබී උමය්යා: ‘අහෝ අබූ තාලිබ්! ඔබ ඔබේ පියා වන අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙත අත්හැර දමන්නෙහි ද? එය පිළිම වන්දනාවයි.' ඔවුන් පවසා සිටි දෑ ඔහු අවසානයට පවසා සිටින තෙක්ම එසේ කතා කරමින්ම සිටියෝය. එනම්: අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙත මත වීමය. එය බහුදේවාදී පිළිවෙතය; පිළිම වන්දනාමානය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: 'මාගේ පරමාධිපති ඒ ගැන මා වළක්වන තාක්කල් මම ඔබ වෙනුවෙන් සමාව අයැද සිටිමි' යැයි පැවසූහ. එවිට උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය පහළ විය. “නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාස කරන්නන්ට සුදුසු නොවීය.” (අත්-තව්බා: 113) එමෙන්ම අබූ තාලිබ් තුමා විෂයයෙහි අල්ලාහ් මෙසේ පහළ කළේය. “නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය." (අල්-කසස්: 56) ඔබ කවරෙකුට යහමඟ ලබා දෙන්නට ප්‍රිය කළෙහි ද එසේ ඔබ විසින් ඔහුට යහමග ලබා දෙන්නට නොහැක. ඔබේ වගකීම වනුයේ ඉස්ලාමයට ඇරයුම් කිරීම පමණි. තමන් අභිමත අයට යහමඟ පිරිනමනුයේ අල්ලාහ් ය.